Monday, July 6, 2026

තාත්තේ....අද මට ඔබව වඩාත් සිහිවෙන දවසක්....
---------------🌷🩷🌷-----------------
    • ඈත අහසෙ
      තරු ඇසක් වී
      මගෙ දිහාවට දෙනෙත් දල්වා
      සිටින බව නුඹ,..
      දන්නවා මම තාත්තේ...

      පාළු ගනඳුර දිලෙන අහසෙත්
      හිරු ගින්න මැද දිවා අහසෙත්
      මට පෙනෙන්නත්
      නොපෙනි ඉන්නත්
      දන්න බව නුඹ,...
      දන්නවා මම
      තාත්තේ.....

      ඉස්සරත් ඒ වාගෙමයි නුඹ....
      අව්වෙ කරවුණු විඩා හංගා
      රෑට හසරැල් සමග ගවසා
      ගෙනා දුප්පත් කැවිල්ලක රස
      තවම දිවඟට දැනෙනවා මට
      තාත්තේ...

      නුඹේ දහදිය ඵල දරනදා
      නොමැතියෙන් ඒ ඵල බුදින්නට
      අතින් අල්ලා නුඹෙන් එළිවුණු
      මගේ ලෝකයෙ සැරිසරන්නට
      නොහැකිකම මහ හිස්කමක් වී
      පෙළනවා සිත තාත්තේ....

      "නුඹෙන් දුර වුව
      සිතින් ළඟ මම..."
      ඈත අහසේ දිළෙන තරු ඇස
      හඬා පැවසූ අයුරු රහසින්
      උදා අරුණෙහි පයට පෑගෙන
      පිණි කඳුළු කැට සෙමින් කොඳුරා
      කියනවා වගෙ දැනෙනවා මට තාත්තේ......

      මංජුල...
      #highlight #followerseveryone