Wednesday, February 7, 2018

එදා...
අද වගේ දවසක......



ඉල් මහක අද වගේ අතීතෙක දුර ඈත
විලි රුදාවෙක අරුම කුළුදුලේ විද දැරූ
දස මසක අවසාන තත්පරය........
සොයන්නට වින්නඹුව ගව් ගණන් මග දිවූ
නුඹෙ දෙපා හතිලන්න පටන් ගත් ඒ දිනය....
තාත්තේ ....ඉනික්බිති
ජීවිතේ පුරා මා ඇසු හඩය......

ජීවිතේ දුක සතුට නිහඩවම දරාගෙන
කොතෙක් නම් ඉල් මාස ඇවිත් යන්නට ඇද්ද
මතකවත් නොතියාම ඒ ගෙවුණු දින අතර
එකම එක මතකයකි ඉතිරි...නෙත් තෙත් කරන

උපන් දින සුබ පැතුම්...සිහිවටන...වැසි වසින
ආදරේ හාදුවක තවරලා මුව තෙමන
උණුසුම්ම සුසුම් මැද සීතලේ කැටි ගැසුණ
සෙනෙහෙ පිරි හාදුවක හිස්තැනකි රිදුම් දෙන....

නොලබාම කිසි දෙයක් ආදරේ දන් දුන්න
නුඹෙ සෙනෙහෙ අරුම මා විදිමි පිය පදවි ලැබ
කිරට නොහැරෙන පුදුමෙ පපුතුරේ හංගාන
ඉල් මහේ එක් දිනක් ගෙවිණි යළි නුඹ නේන....
- මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි
https://www.facebook.com/manjulasankalpana/

Friday, February 2, 2018

ශාකල්‍යා





තරු වළාකුළු අස්සෙ
හැංගි මුත්තං කරන
මහ රෑක නංගිලා 
දෙන්නා මැද්දෑවෙ ඉද
ඒ තාරකා ගැන - පුංචි කවි කියන්නට......
අනෝරා වැහි දාක
ඉස්කෝලෙ නොයා ඉද
බෝනික්කො සිප් පුරන - හරි පුදුම ඉස්කෝලෙ
අම්මාගෙ සාරි ඇද - පුංචි ටීචර් වෙන්න
දුවේ නුඹ හිටිය නම්.....

කරල් දෙකකට කොන්ඩෙ
බැදන් සුදු ගවුම ඇද
නංගිලගෙ  අක්කා වී
ඉස්කෝලෙ ගොස් එන්න
ඉර ගිලුණු කළුවරක - හෙම්බත්ව ගෙදර එන
තාත්තගෙ පෙර මගට - තරු දෑස් දල්වන්න
ඇග වටේ දැවටෙන්න
ගෙයි පුරා ඉගිලෙන්න
උණුහුමට ගුලිවෙලා
පපුව උඩ නිදියන්න
දුවේ නුඹ හිටියනම්.......

ගෙයි සාලෙ මැද්දෑවෙ
හුරතලෙන් හිනාවෙන
දෑස් දල්වා බලා - මොකුත් නොකියා ඉන්න
පිංතූරයක් නොවී
අනේ නුඹ හිටිය නම්.......

                       -  මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි