Friday, October 21, 2022

 පාපොව්වාරණයක් නම් නෙවෙයි...




බැල්කනියේ පුටුව උඩට වෙලා පොතක් කියව කියව හිටිය මට සුපුරුදු කුකුල් නින්ද ගිහින් තිබුණෙ මටත් නොදැනිමයි. “පොතක් අතට ගත්තොත් ඔයා කරන්නෙ නිදියගන්න එකනේ...” එක පාරටම ඇහැරුණු මම ඇස් දෙක ඇරලා වටපිට බැලුවෙ කොහෙන් හරි දොරකින් එබිලා එහෙම කියන රෝසිගෙ විමසිලි දෑස් කොහෙන් මතුවෙයිද කියලා දන්නෙ නැති නිසයි. තවම මාස හයක්වත් පිරs,d නැති චූටි දහම්සාවත් තුරුළු කරගෙන එයත් හොඳටම නිදිද කොහෙද..මෙතෙක් තිබුණු අව් රැල්ලත් වහගෙන කළු වළාකුළු රෙද්දක් අහස පුරා එළමින් අහස බුම්මගෙන බලා හිටියා. හැමදේම නිසොල්මන්' ඒත් ඒ නිසොල්මන් බව බිඳගෙන වහලය දිගේ දුවගෙන ආපු ලේනෙක් කටේ තියාගෙන ආපු  දුඔුරු පාට ගුලියක් පරෙස්සමට වහලෙ උඩින් තියලා වටපිට  බලලා ඒ ගුලිය දිවෙන් ලෙව කන්න ගත්තා . චූටි ලේන් පැටියෙක් ... මගේ හිත කුහුලින් යුතුව එහෙම කිව්වා. ආපහු ලේන් පැටියව කටට ගත්තු ලේන් අම්මා කලබලෙන් බිත්තිය දිගේ නැගලා වහලෙ සිවිලිම අස්සට රිංගලා නොපෙනී ගියා. ලේන අම්මයි පැටියයි නොපෙනී ගියත් කුහුලින් බර වුණු මගේ හිතේ කුතුහලය එහෙම්මමයි. කොහේදෝ ඉදන් ආපු හුළඟක් ගේ ඉස්සරහා තියෙන මැහෝගනී ගහේ මල් කිනිති වලට රහසක් කියාගෙන ගියා. ඒ රහස අහලා ඔලුව වනලා මල් කිනිති හිනාවෙද්දි වේලුණු මැහෝගනී කොළ දෙකතුනක් බිිමට හෙළලා අත්තක් තමන්ගෙ බර ඩිංගක් හෑල්ලුු කරගත්තා

  පොතේ අකුරු දිගේ මොහොතක් එහා මෙහා දිව්ව ඇස් ආයිත් තැඹිලි පාට ඇස්බැස්ටස් වහලෙ උඩ නැවතුණා . උඩ තට්ටුවෙ වහලේ ඉඳලා බිත්තිය දිගේ සීරුවට බිමට බැහැපු ලේනෙක් යට තට්ටුවේ  වහලෙට බැහැලා ආපහු මගේ ඉස්සරහින් කලින් ලේනා ආපු දිහාටම දුවගෙන ගියා. මේ දෙන්නම එකම ලේනද..මුහුණුවරින් ලේනුන් හඳුනාගැනීමට හැකියාවක් නැතිකම ගැන පසුතැවුණු මගේ සිත එකපාරටම තදින් ගැහෙන්නට වුණේ යමක් සිහිපත් වුණු නිසයි.

ගෙදර විදුලි මීටරය ආවරණය කළ ප්ලාස්ටික් ආවරණය ඇතුලේ ලේනකු කූඩුවක් හදලා තිබුණෙ මීට මාස දෙක තුනකට කලින් . ගෙදර විදුලි මීටරය කියවන්න එන මනු කියවන්නා මේ ලේන කූඩුව ගැන දෙතුන් පාරක්ම මට පැමිණිලි කළේ ඔහුට විදුලි මීටරය කියවීමට මේ ලේන කූඩුව බාධාවක් වී ඇති බවට චෝදනා කරමින්.

පැටව් ඉන්නවද දන්නෑ...

 මනු කියවන්නාගේ චෝදනාවෙන් නිදහස් වෙන්න මං මෙච්චර කලක් කියාපු නිදහසට කාරණාව කල් ඉකුත් වූවක් බවට පත්වී තිබුණ නිසා අද උදේ ඒ ලේන කූඩුව එතැනින් අයින් කරලා දාන්න මම තීරණය කළා. බොහෝම සීරුවෙන් එහි පියන ගලවා ඉවත් කළ මම ලේන කූඩුව ප්‍රවේසමින් අතට ගත්තා. කොහු, පුළුන්, පරඩැල් වලින් බොහොම සීරුවට හදා තිබුණු කූඩුව ඇතුලේ පුංචි සතෙකුගේ යෝධ වෙහෙස මහන්සියක් එක්තැන් වෙලා තිබුණා. මේ කොහු ටික හොයාගන්න ලේනා හුඟක් දුරක් වාර දහස් ගානක් එහා මෙහා ඇවිදින්න ඇති. පුළුන් ටිකක් හොයාගන්න පුළුවන් තැනක් ගැන දවස් ගානක් විපරම් කරන්න ඇති. තමන්ට ඔසවගන්න බැරි තරමේ බරක් උස්සගෙන මෙතැනට සිය දහස් වතාවක් යන්න එන්න ඒ ලේන අම්මටයි තාත්තටයි තිබුණු එකම හයිය උපදින්න ඉන්න දරු පැටව් ගැන හිතේ ගොඩ ගැහිලා තිබුණු අප්‍රමාන දරු සෙනෙහස විතරක් වෙන්න ඇති. ලේන කූඩුව අතේ තියාගෙන මම හුඟක් වෙලා ඒ දිහා බලා හිටියා. පැටව් එකෙක්වත් නැහැ වගේ. සිහිලසක් සිත අතගාගෙන නාසයෙන් පිටවුනේ බර හුස්මක් විදිහටයි. කූඩුව කඩන්න ලෝබ හිතුව මම කූඩුව ගහක් ළඟින් තියලා එතැනින් නැඟිටලා ගෙට ආවේ ලේන කූඩුවේ අවහිරෙන් නිදහස් වුණු විදුලි මීටරය දිහාවත් නොබලයි.

එහෙනම්... ඒ කූඩුව ඇතුලේ පැටියෙක් ඉඳලද...

අහිංසක දරුපවුලකට උන්හිටි තැන් අහිමි කිරීමේ යළි නිවැරදි කළ නොහැකි වරදකින් හදවත හඩා වැටෙද්දි මම රෝසියි දහම්සයි නිදා උන්නු කාමරයට මගේ වැරදිකාර මුහුණ එබුfවි වෙච්චි වැරැද්ද කාත් එක්ක හරි කීමෙන් හිත නිදහස් කරගත හැකියි කියන ආත්මාර්ථකාමී හිතුවිල්ලෙන්..දෙන්නම තවම නිදි...

තව ටිකකින් මහා වැස්සක් වහිවී...මේ හදිසියේ පැටියට නොතෙමි ඉන්න තැනක් හොයාගන්න ලේන් අම්මටයි තාත්තටයි පුළුවන් වෙයිද...අකුණු සැරයක විදුලි ඉරක් සැණෙකින් දෑස් මානයේ ඇදී ගියා වගේ මට දැණුනා.

 

Wednesday, August 3, 2022

Nipuni Nayanathara | Sulagak Wage Awidin | සුළගක් වගේ ඇවිදින්



සුළඟක් වගේ ඇවිදින්
සුවඳක් ව ළඟ ඉන්නම්
වැස්සක් වගේ ඇවිදින්
සිත ගිම් නිවාලන්නම් ....
- කවදාකවත් ඔබගේ නොවී
හැමදාම මං ඔබගේ වී ඉන්නම්....//

ගලනා දියේ ගම් ඉම් දිගේ
හිමිකම් නොකී නැවතී බිඳක්
අහසේ ඉමක් සයුරේ නිමක්
නැති සේ සිතේ වැඩෙනා පෙමක් ....
කවදාකවත් ඔබගේ නොවී
හැමදාම මං ඔබගේ වී ඉන්නම්....

අරුණක් වගේ හිඳිමී රැඳී
සුසුමේ පවා කවියක් වෙමී
කඳුළක් නොදී ලතැවුල් පිරී
හසරැල් දියේ සඟවන්නෙමී ....
ඉදිමී රැඳී ඔබගේම වී
හිමිකම් නොකී පෙම්වන්ති වී ....
***************************************
ගායනය - නිපුනී නයනතාරා
ගී පද - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
සංගීතය - සදරුවන් ජයසිංහ
***************************************


Edward Jayakody New Song - Yali Noena Nawathanata(යළි නොඑනා නවාතැනට)


 


යළි නොඑනා නවාතැනට
නුඹ ඇරලූ දා මා
දැනුණුු තනිය තවම දැනේ
එදා දැණුනු සේමා....
සිත සිරවූ කඳුළු තියා
අම්මේ නුඹ ගාවා
බලා හිඳිමි සිහිනෙන්වත්
ඇවිදින් සනහන් මා ......
වෙර වීරිය නුඹෙ දෑතේ
මට මඟ පියවිලි තැනුවේ
ඒ සිහිනය ගඟේ නොලා
රැකගන්නයි පැතුවේ
මග වැරදුණි අම්මේ .....
යළි නොඑනා .............
දෝර ගැලූ අගහිඟකම්
ඉහටත් බර වැඩි යුතුකම්
අඩුවක් වූවාද මගෙන්
ළතවෙමි හැම තිස්සේ
සමා කරන් අම්මේ...
යළි නොඑනා.......

 

****************************************
ගායනය - එඩ්වඩ් ජයකොඩි
ගේය පද - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
සංගීතය - සාගර සම්පත්
💖💖💖💖💖

         **************************** 

 

Tuesday, March 16, 2021

මතකද තිබුණා ආදරයක්....


 මතකද තිබුණා ආදරයක්


මතකද තිබුණා ආදරයක්
මතකද තිබුණා ආදරයක් ...
ඔබට දාව පිපුණූ
ඔබ පිටුපෑ දා කළලය වළලා
මා තනිවම තැවුණූ...//
මතකද තිබුණා ආදරයක් ...//
මතකද තිබුණා එක වදනක්
මා ඔබ ගෙන් විමසූ ..//
මගේ මුවින් සිය දහස් වරක් ඔබේ සවනට මිමිණූ...//
...දල්ලක් මත වට පිනි කඳුළක් සේ ඔබෙ සිත මත නොරැදූ....//
මතකද තිබුණා සෙනෙහෙ සිතක්
කතරක සිහිල සෙවූ...//
සිත තෙත හංගා නුබ ගොළු වුන දා
අසරණ වී තනි වූ ...//
...ඔබ උදුරාගත් හසරැල් තාමත්
මිහිරියෙ මට නුහුරු ...//
***************************************
ගායනය - දුමාල් වර්ණකුලසූරිය
ගී පද - මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි
සංගීතය - සඳරුවන් ජයසිංහ
***************************************

Tuesday, October 20, 2020

යුගාන්තයේ


 

යුගාන්තයේ

යුගාන්තයේ ...හිරු පිපුනු

අවසාන දවස අද
අවපසේ සඳ නිවිණි
කළුවරයි මුළු රෑම ...
හෙටක් අරගෙන ඉරක්
යළි ඒද නොසිතාම
අතීතයේ දොර වසමි
ඇසිල්ලකි හැමදේම.....
අපමණක් ගං දියෙන්
සයුර සැනසුනේ නැත
මලක් මියගිය දුකට
මල් වැරූ ගසක් නැත ...
ඉපිද මියයන විගස
වෙනස්වන ලෝකයක
සසල පෙමකට අබැට
සොයා වෙහෙසෙනු කුමට.....
යුගාන්තයේ හිරු පිපුනු......
මට ද ඔබ වෙනු නොහැක
විය නොහැක ඔබට මා
එක ගසේ පිපුණමුත්
මලක් අනෙකින් වෙනස්.
මම ඔබව සොයා එන
වෙහෙස අතහැර ඉතින්
- මම සොයා ගමි මාව
එහිය සැනසුම නොනිම් ......
ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය - මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි
සංගීතය - දර්ශන වික්රමතුංග

https://youtu.be/Kz1J4bruRc8?list=RDKz1J4bruRc8

Saturday, August 15, 2020

අපේ කළු සුදු පුංචි ලෝකය..

 අපේ කළු සුදු පුංචි ලෝකය....


සමර ගා පිරියම් කළ

කෑලි තුනේ කුලී ගෙදර... වැට ලග

අම්මටයි..තාත්තටයි... ඉස්සරහින්

මල්ලිටයි ... නංගිටයි... මැද මං...

දිනය අමතක ඉස්සරම දවසකදි

කවුරුදෝ නෙගටිව් පටියක ඇන්ද

අපේ පොසිටිව් කළු සුදු ලෝකය

සාලයේ එල්ලිලා අදටත් හිනාවෙන ලස්සන...


හිතුනාද නිකමටවත් එදා

ඒ කුලීගෙන් පිටත අපේ ලෝකයක් ගැන...

චිමිනි ලාම්පුවෙ එළියෙන් නොදුටු

වෛවර්ණ...

එහෙත් අපට අප අහිමි වුණු


කොයි තරම් දුර ඇවිදින්ද අප

පාගමින් පර මතක - අළුත් මල් දෝවමින

මගුල් ඛෙර වැයෙද්දි කඳුළු පැන් වඩද්දී

දවස්... අවුරුදු... පසුකර....


ඒත් තවමත් දිනෙක

ලයිට් ගිය කළු රැයක

සැලෙන ඉටිපන්දමක දුබල කහපාට යට

පරණ කළුසුදු රූපෙ විසල් සාලයෙ ඇඳේ

මතක සංකා අතර...

හිනැහෙමින්...

වැලපෙමින්...


එදා අප හුන් තැනෙහි සොයුරු රූ නොමැත අද

කොහිද අප... සොයමි මම... රූපයේ හැම තැනම

එහෙත් අප දෙස බලා සෙහෙනසින් පෙරසේම

පිටුපසින් රූ දෙකකි නොවෙනස්ව හුන් තැනම....

               

-  මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි

Friday, April 3, 2020

සිතක රස්තියාදුව ....





සිතක රස්තියාදුව ....


කාන්සිය අවදි වී  රස්තියාදුවක සිත
අතීතේ ඉමක් නැති මං පෙතක ඇවිදිද්දි
පාට බොඳවුණු... ඉරුණු..බොහො මතක මං අතර
කළුවරේ තැනින් තැන විදුලි එළි ඇදෙනවා....


දසක ගණනක් පැරණි නටබුන් වූ මිතුරු සිත්
තැනින් තැන තියා ගිය හුරු  සෙනෙහෙවන්තකම්
දුව ඇවිත් කර වටා අත දමා  එබි එබී
"උඹට මං අමතකද...??" හිනැහෙමින් අහනවා..


එක අයිස් පලමෙ රස රැහේ කාටත් බෙදූ
එකම වේවැල් පාර අත්ලෙ හරහාට පොදූ
එක මගේ දුරක් ගිය... එකම සිහිනය දුටූ
උන් කොහෙද සලකුණක් නොතබාම වෙන් වුණු....


කාලයේ රුදුරු අත් මුහුණෙ හැඩ මකා ඇති
සරුංගල් සිත් ඉරී බර දරාගෙන ඇතී
මහා හිස් ගොඩක් මැද හමුවුණත්  ඉදහිටක
හඳුනගනු බැරිව අපි.....බිම බලන් යන්නැතී ....

                 - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි 

Friday, March 20, 2020

සදහට ආදරෙයි....



සදහට ආදරෙයි.....

සිත ගිමන නිවන අමයුරු සිහිලක සුවේ
මම විඳිමි නොමැත අන් කොතැනකවත් භවේ             
`ග කරන දෑස් තුළ දැල්වෙන ඔය සෙනේ
බල කරයි හෙටත් ජීවත් වන්නට ලොවේ.....
ආදරෙයි.....සදහට ආදරෙයි.....මං ආදරෙයි....

මල් සුපිපුණු මාවත් නැත මුදු පාවඩ ඇතිරූ -
                                ඔබ යන මගේ...
කටුකොහොලින් ගහනයි... ළතැවුල් රැඳේ...
මා... සුරතින් - මිදි යම් දිනේ
`ග - වරදීදෝ සිත වැලපේ මගෙ දුවේ...
ආදරෙයි.....සදහට ආදරෙයි.....මං ආදරෙයි....


දුටු සිහින පැතුම් මල්වර වන මතු යම් දවසේ -
                                හසරැල් පිපේ...
ඔබ දිනනා එදවස නිවනයි මගේ
රෑ... අහසේ - තනි තරුව සේ
සැමදා - ඉන්නම් සිත ළ`ග සෙනෙහෙන් රැඳී
සිත ගිමන නිවන.......
ආදරෙයි.....සදහට ආදරෙයි.....මං ආදරෙයි....//

                ගීපද - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි