රේන් කෝට්
රේන්කෝට්....
චූටි දෝණිට මොන්ටිසෝරි යනකොට වැහි දවසට
අදින්න වැහි කබායක් ඉල්ලලා මාසයක් දෙකක්
ගෙවිලා යනකම් අප්පච්චිට ඒ ඉල්ලීම ඉටු කිරීම අතපහු වුණා. ...‘‘රේන් කෝට් එකක්
තිබුණා නම් ඇදන් යන්න තිබුණා නේද අප්පච්චි‘‘හීන් වැහි පොදක් වැටුණු හැම උදයකම ඇය තම අවශ්‍යතාවය කිව්වේ ඒ විදිහට...
මේ නිසාම අප්පච්චිට දෝණිගේ ඉල්ලීම වැඩි දවසක් අතපසු කරන්න වුණේ නෑ.. කොහොමින්
කොහොම හරි රේන් කෝට් එකක් ගෙනාවා කියමුකෝ .වෙලාව කියන්නේ රේන් කෝට් එක ගෙනැල්ලා
සති කීපයක්ම ගියා. ඒත් වැහි කදුලක් නෙමෙයි නිකංවත් පොළොවට පාත් වුනේ. අදනම් වහී
නේද අම්මෙ.... හැමදාම උදේ මොන්ටිසෝරි යන්න නැගිටින දෝණි ප්‍රාර්ථනා වැකියක් කියනවා
වගේ පුංචි ඇස් දල්වාගෙන කියනවා අප්පච්චිට ඇහෙනවා. අම්මත් හ්ම්... කියනවා. ඒත්
දෝණිගෙ හිත හැදෙන්න හීන් කදුලක්වත් හෙලන්නෙ නැතිව අහස බුම්මගෙන හිටියෙ දෝණි තරු
ගැන හද මාමා ගැන කවි කිව්වට තමන් ගැන එක කවියක්වත් නොකී හින්දා වෙන්න ඇති. දෝණිගෙ
බලාපොරොත්තු කඩ වෙවි දවස් ගෙවී ගියා. එයා උදේටයි හවසටයි දවසට දෙතුන් වරක් මොන්ටිසෝරි
බෑග් එකෙන් රේන් කෝට් එක ඇදලා අරන්
ටිකක්වෙලා බලා ඉදලා ආපහු බෑග් එකට දාගත්තා .
‘‘අම්මෙ අදනම් වහිනවා නේද....“ ඊයේ රෑ ඉදන්
තවමත් වහින වැස්සෙ හඩ අහගෙන ඇදෙන් බැස්ස දෝණිගේ මුහුණෙ සතුටු එළිය අඩ අදුරෙත්
බැබළුණා....දෝණිට මොන්ටිසෝරි යන්න අද
වෙනදටත් වැඩි කලබලයක්...අප්පච්චි ඉක්මණට යමු වැස්ස පායන්න ඉස්සර... දඩි බිඩියෙ
කාර් එකට ගොඩවුණු දෝණිගෙ මූණෙ නොඉවසිල්ල කාර් එකේ වේගෙට වඩා ඉක්මන්. අහසෙ කළු අදුර
ඉරාගෙන ඉර වළාකුළු අතරින් එළියට පනින්න තැන් හොයනවා. අපි මොන්ටිසෝරිය ලගට යන්න කලින් වැස්ස පායයි වගේ .... අප්පච්චි
ඉස්සරහා බලාගෙන සුක්කානම එහෙට මෙහෙට හරව හරවා යන ගමන් කිව්වා. දෝණිගෙ සද්දයක්
නෑ... වීදුරුවෙන් එළිය බලාගෙන ඉන්න දෝණිගේ මූණ අප්පච්චිට කණ්නාඩියෙන්
පේනවා...එළියෙ වැස්සට නොතෙමුණු දෝණිගෙ කම්මුල් වලට චතුර වැටුණෙ කොහොමද කියලා
අප්පච්චිට හිතා ගන්න අමාරු වුණේ නෑ.....‘‘ වැස්ස අඩු වුණාට තවම පායලා නෑ අර බාබාලා
පාරෙ රේන් කෝට් ඇදන් යන්නෙ....‘‘ පාරෙ මෝටර් බයිසිකලේක පිටිපස්සෙ ජර්සියක් ඇදන්
යන බබෙක්ව පෙන්නලා අප්පච්චි කිව්වා... ඔව්...ඔව්... අනේ එයාගෙ රේන්කෝට් එක කළු
පාටයි නේද අප්පච්චි ....මගේ එක පින්ක්.....දෝණිගෙ මූණේ පිපුණු හිනාවෙ ලස්සන බලන්න ඉර තව කළු වලාවක් මෑත් කළා.
ගස් යට විතරක්
පුංචි වැසි ඇද වැටෙද්දි අප්පච්චියි දෝණියි මොන්ටිසෝරිය ළගට ආවා.... බහින්න
එපා...ඉන්න මම ඔයාට රේන් කෝට් එක අන්දනකල්...චැස්සක් නැතිව පොඩි එකෙකුට රේන් කෝට්
එකක් අන්දන් යන මෝඩ අප්පච්චියෙක් කියලා බලන් ඉන්න අය හිතන එකට වඩා අප්පච්චිට වැදගත් වුණේ පුංචි
දෝණිගෙ ආශාව. රේන් කෝට් එකත් දාගෙන මොන්ටිසෝරියට යන්න පාර පනින දෝණි දිහා ඉර බලා
හිටියේ වැරැද්දක් කළා වගේ දුක් හැගීමකින් . තවමත් නොවියලුණු වැහි බිංදු පුංචි පා දොවද්දි දෝණි පංති කාමරයට
ඇතුල් වුණේ ලෝකයම ජය ගත්තා වගෙ හැගීමකින් කියලා අප්පච්චිට හිතුණා. “අනේ ..... අද
දහම්සා රේන් කෝට් එකකුත් ඇදලා ....බලන්නකො මෙයාගෙ ලස්සන....‘‘ පංතියේ ටීචර් එහෙම
කියද්දි රේන් කෝට් එකේ විස්තර සතුට උතුරන
හඩින් දෝණි ටීචර්ට කියන හඩ අප්පච්චිට
දුරටත් ඇහුණා.
- මංජුල ප්‍රභාත්
හෙට්ටිආරච්චි





