Friday, July 28, 2017

රේන් කෝට්

රේන් කෝට්


රේන්කෝට්....


චූටි දෝණිට මොන්ටිසෝරි යනකොට වැහි දවසට අදින්න  වැහි කබායක් ඉල්ලලා මාසයක් දෙකක් ගෙවිලා යනකම් අප්පච්චිට ඒ ඉල්ලීම ඉටු කිරීම අතපහු වුණා. ...‘‘රේන් කෝට් එකක් තිබුණා නම් ඇදන් යන්න තිබුණා නේද අප්පච්චි‘‘හීන් වැහි පොදක් වැටුණු  හැම උදයකම ඇය තම අවශ්‍යතාවය කිව්වේ ඒ විදිහට... මේ නිසාම අප්පච්චිට දෝණිගේ ඉල්ලීම වැඩි දවසක් අතපසු කරන්න වුණේ නෑ.. කොහොමින් කොහොම හරි රේන් කෝට් එකක් ගෙනාවා කියමුකෝ .වෙලාව කියන්නේ රේන් කෝට් එක ගෙනැල්ලා සති කීපයක්ම ගියා. ඒත් වැහි කදුලක් නෙමෙයි නිකංවත් පොළොවට පාත් වුනේ. අදනම් වහී නේද අම්මෙ.... හැමදාම උදේ මොන්ටිසෝරි යන්න නැගිටින දෝණි ප්‍රාර්ථනා වැකියක් කියනවා වගේ පුංචි ඇස් දල්වාගෙන කියනවා අප්පච්චිට ඇහෙනවා. අම්මත් හ්ම්... කියනවා. ඒත් දෝණිගෙ හිත හැදෙන්න හීන් කදුලක්වත් හෙලන්නෙ නැතිව අහස බුම්මගෙන හිටියෙ දෝණි තරු ගැන හද මාමා ගැන කවි කිව්වට තමන් ගැන එක කවියක්වත් නොකී හින්දා වෙන්න ඇති. දෝණිගෙ බලාපොරොත්තු කඩ වෙවි දවස් ගෙවී ගියා. එයා උදේටයි හවසටයි දවසට දෙතුන් වරක් මොන්ටිසෝරි බෑග් එකෙන් රේන් කෝට්  එක ඇදලා අරන් ටිකක්වෙලා බලා ඉදලා ආපහු බෑග් එකට දාගත්තා .

‘‘අම්මෙ අදනම් වහිනවා නේද....“ ඊයේ රෑ ඉදන් තවමත් වහින වැස්සෙ හඩ අහගෙන ඇදෙන් බැස්ස දෝණිගේ මුහුණෙ සතුටු එළිය අඩ අදුරෙත් බැබළුණා....දෝණිට  මොන්ටිසෝරි යන්න අද වෙනදටත් වැඩි කලබලයක්...අප්පච්චි ඉක්මණට යමු වැස්ස පායන්න ඉස්සර... දඩි බිඩියෙ කාර් එකට ගොඩවුණු දෝණිගෙ මූණෙ නොඉවසිල්ල කාර් එකේ වේගෙට වඩා ඉක්මන්. අහසෙ කළු අදුර ඉරාගෙන ඉර වළාකුළු අතරින් එළියට පනින්න තැන් හොයනවා.  අපි මොන්ටිසෝරිය ලගට  යන්න කලින් වැස්ස පායයි වගේ .... අප්පච්චි ඉස්සරහා බලාගෙන සුක්කානම එහෙට මෙහෙට හරව හරවා යන ගමන් කිව්වා. දෝණිගෙ සද්දයක් නෑ... වීදුරුවෙන් එළිය බලාගෙන ඉන්න දෝණිගේ මූණ අප්පච්චිට කණ්නාඩියෙන් පේනවා...එළියෙ වැස්සට නොතෙමුණු දෝණිගෙ කම්මුල් වලට චතුර වැටුණෙ කොහොමද කියලා අප්පච්චිට හිතා ගන්න අමාරු වුණේ නෑ.....‘‘ වැස්ස අඩු වුණාට තවම පායලා නෑ අර බාබාලා පාරෙ රේන් කෝට් ඇදන් යන්නෙ....‘‘ පා‍රෙ මෝටර් බයිසිකලේක පිටිපස්සෙ ජර්සියක් ඇදන් යන බබෙක්ව පෙන්නලා අප්පච්චි කිව්වා... ඔව්...ඔව්... අනේ එයාගෙ රේන්කෝට් එක කළු පාටයි නේද අප්පච්චි ....මගේ එක පින්ක්.....දෝණිගෙ මූණේ පිපුණු හිනාවෙ ලස්සන  බලන්න ඉර තව කළු වලාවක් මෑත් කළා. 
ගස් යට විතරක් පුංචි වැසි ඇද වැටෙද්දි අප්පච්චියි දෝණියි මොන්ටිසෝරිය ළගට ආවා.... බහින්න එපා...ඉන්න මම ඔයාට රේන් කෝට් එක අන්දනකල්...චැස්සක් නැතිව පොඩි එකෙකුට රේන් කෝට් එකක් අන්දන් යන මෝඩ අප්පච්චියෙක් කියලා බලන් ඉන්න අය  හිතන එකට වඩා අප්පච්චිට වැදගත් වුණේ පුංචි දෝණිගෙ ආශාව. රේන් කෝට් එකත් දාගෙන මොන්ටිසෝරියට යන්න පාර පනින දෝණි දිහා ඉර බලා හිටියේ වැරැද්දක් කළා වගේ දුක් හැගීමකින් . තවමත් නොවියලුණු  වැහි බිංදු පුංචි පා දොවද්දි දෝණි පංති කාමරයට ඇතුල් වුණේ ලෝකයම ජය ගත්තා වගෙ හැගීමකින් කියලා අප්පච්චිට හිතුණා. “අනේ ..... අද දහම්සා රේන් කෝට් එකකුත් ඇදලා ....බලන්නකො මෙයාගෙ ලස්සන....‘‘ පංතියේ ටීචර් එහෙම කියද්දි රේන් කෝට් එකේ විස්තර  සතුට උතුරන හඩින් දෝණි ටීචර්ට  කියන හඩ අප්පච්චිට දුරටත් ඇහුණා.

                                                                                  
                                                              මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි


Thursday, July 27, 2017

ඔබ නික්ම ගිය පසු

ඔබ නික්ම ගිය පසු.....

අහස් වියන යට
මතක ගොඩක් අස
කවුදෝ ඉකි ගසනා
කිසිවකු නොදකින
දෑස් පියන් යට
කදුලකි ඉකි ගසනා.....

සොහොන් පලක් මැද
ඇවිලෙන සෑයක
හද ගිනි ඔබ නොදකී
දහසක් හඩවල්
සවනත නොවැකෙයි
ඇසුනෙ එකම හඩකී

කිසිවකු නොඑනා
පාළු විමානෙක  
ඇසෙන හඩට ළබැදී
හුරු උණුහුම රැදි
මිටියාවත වෙත
එන්න වරම් පතමී....

-       මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි




Thursday, February 9, 2017

කදුලට මිලක්....?
























                 
         කදුලට මිලක් දිය හැකි කිසිවකුත් නැතේ....
අදුරට පහනවේ පිළිතුර මෙදිය මතේ.....
බත් අැටයකට දිය බිදකට හඩන නෙතේ....
කදුලට විසදුමක් ලොව කොතැනකද පුතේ......???
--මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි

Friday, January 6, 2017

ඔබ නැතුව ඔබ එක්ක





ඔබ නැතුව ඔබ එක්ක

 














ඔබ රිදුම් තියා ගිය තැන්
පෑරෙයි තවත් ඉදහිට....
ඔබෙ සිනහ ගැවසුණු තැන්
සුන්දරයි තැවරුණත් ලුණු රස...

කාලය මකා දැමු පස්මත
පිපේ තවමත් මලක් අකලට
සුවද ඉව කෙරූවද දුර සිට
වළ දාමි නොකියාම මතක බණ....

වසර ගණනක් තෙතක් නොලත් බිම
පුංචි වැහි කදුලකින් මොලොක් විය
නැවුම් පුසුඹක විදුම කොතරම්ද
ඇතිය.. ඒ සුවද.... මුළු දිවියටම

අයිතියක් කිවිය නොහැකිය ඔබට
උප්පැන්නයක් නොමැති මළගමට...
ඔබට දා වුවද ඔබහට අකැප
ගබ්සාවකිය...,එයින් කුමන ඵල...
රිදුම් පෑරුම් කිසිත් නොසිතාම
මලට පෙම් කරමි එය නොලබාම
ඔබ නැතුව ඔබ එක්ක හැමදාම
හිදිමි... අවසර කුමට මට ඊට.......

-මංජුල ප්‍ර‍භාත්  හෙට්ටිආරච්චි



Wednesday, August 31, 2016

පුතුනේ......




පුතුනේ......




සුර ලොවක සුර සැපත
අතැර මගෙ තනි මකන
මගෙ පැලට ආ සිගිති පුතුනේ
කිරි සුවද මුව කමල
නිම්  නොවන දෙඩවිල්ල
හෙටට දිවි හුස්ම දෙන ඔසුවේ.....

සුබ සිහින පුබුදන්න
අත නොහැර ළග ඉන්න
බල කරන ඔය සොදුරු මුහුණේ
දගපාන හසරැල්ල
තරු යුග්ම දෙන කැල්ම
බැද තබයි තවත් මා සසරේ....

මෙතෙක් ලොව නොදුටු සිරි
ගෙනැත් සිත් පාමුලට
සිනහ අංජන තවරනා නෙතේ
නුඹ නමින් පමණක්ම
පණ ගැහෙන හදවතක්
නුඹෙ ගතින් එපිට නුදුරෙක තියේ......

               -  මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි

Thursday, August 25, 2016

අකල් වැහි...





අකල් වැහි...
















හිතේ තිබුණු දුක සේරම
ක විඩේට බිමට හලා
නුඹ අැඩු දවස් සිහිවෙයි
දවසෙම කළු වළා පුරා.....
සෝදා හැර නෝක්කාඩු
යළි තුරුලට මුවාවෙලා
අහසේ තරු ගැන්න දවස්
මතකයි අපි පහන් කළා.....

බොළදියකගෙ පුර සදවත
අවපස නුබ කුස ගෙවුණා
පුරන් සිතක යහන්  නොලද
මල් මුවරද පළා ගියා
සද මඩලේ සා පැටවුන්
හිනැහෙන කිරි සිනහා බලා
අහස අැඩුවෙ නෑ ඉන්පසු
පෙරමෙන් වැහි වළා පුරා......

කළු කරගෙන දවස පුරා
වහින්ට අරඅදින අහස
සෝදා හැර සිත පිරි දුක
තුරුලේ හිනැහෙන...දගලන....
තරු බොදවුණු දෑස් පිසැර
නින්දේ දියකර හිනැහෙන
වහිනව නම් යළි වැස්සක්
අාසයි ඉදහිට තෙමෙන්න....
 
           - මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරව්වි



Wednesday, May 18, 2016


වියෝවක පසු පැතුම


බූන්දි, සඳුදා, අගෝස්තු 13, 2012 00:14:52
මුළු උයන වසාගත් පාළු තනිකම නැසූ
පුංචි මල් පොහොට්ටුව ගිලිහුනිද අකාලයෙ
කළු වලාකුළු මිදුණු පාළු ඝනදුරු රැයේ
අඳුර නැසු තනිතරුව කඩා වැටුනිද කොහේ............?

මේ අඳුරු ගෙයි පැලට ආලෝකෙ දල්වන්න
ඔබ ගෙනා තරු යුවල වසාගෙන ඇයි දුවේ
ලොව නෑසු ගී තැනු සිඟිති කෙඳිරිලි හැඬුම්
නිහඬ කොට පුංචි මුව වසා නුඹ ගියෙ කොහේ ...?

මව් තුරුලෙ ගුලි වෙලා කිරිවලට සංඩු වුණු
ඒ පුංචි සංඩු නින්නාද දේ ගේ පුරා
කිරි සුවඳ පිනි වැටුණු නුඹෙ සිනා කොඳ කැකුළු
නිදන නෙතු පමණි අද දකිනුයේ රැය පුරා

නිදද්දී ඇහැරෙන්න රැය පුරා නොනිදන්න
නුඹයි මට හුරු කළේ මුමුණන්න ගී නොදත්
අතින් ගිලිහෙතැයි සිත බියෙන් සංකා වැඩු
නුඹෙ හුස්ම පොද කොතැන සැඟවුනිද මට හොරෙන්

පිච්චමල් අතුපතරෙ බටිත්තන් සොයන්නේ
නිදිවරා සොහොන් කොත් උඩින් සඳු එබෙන්නේ
දකින්නයි යළි නුඹව හෙටට ඇහැ අරින්නේ
ඉතින් නුඹ කෙසේ මෙහි නෑවිදින් හිඳින්නේ.....?

කඳුළෙ හසරැලි පිපෙන සුබ සිහිනෙ දරාගෙන
කිරට යන්නට අම්මා හිඳී මඟ බලාගෙන
නෙළුම හොඬයෙන් ගත්තු ඇත් පැටව් පිරිවරන්
නොබලාම කල් විගස සුදු දුවේ යළි එන්න .... 

Tuesday, May 17, 2016

උපන් දිනේ.....




උපන් දිනේ.....

















පොඩි දුවගේ උපන්දිනේ
ජයට ගන්න ලැහැස්තියක්
ලොකු දුවගේ මුහුණෙ කදුළු
වැසි බර කළු වළාකුලක්
නංගිගෙ තරු නෙතු දැල්වී
වසරක් ....ගතවුණු සතුටක්
අක්කට එය නොතේරෙන්නෙ
එයත් තවම චූටි බබෙක්.......

''නෑ......නෑ......මේ උපන් දිනේ
නංගිගෙ විතරක්ම නොවේ
අක්කෙක් වී නංගිගෙ....නුඹ
යළි ඉපදුනෙ අදයි දුවේ.....''
එ් හන්දා උපන් දිනේ
සැමරුම ඔය දෙන්නගෙමයි
කපා කේක් එක දෙඅතින්
කවන්න....අම්මටයි...මටයි...

            - මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි

Monday, May 16, 2016

බැමි...




                                       බැමි...



''අාදරය නිසා බිය උපදින්නේය
අාදරය නිසා සොව උපදින්නේය..."

බුදු හිමියනේ.......

බියක් නැති තැන
සොවක් නැති තැන
අැති නමුදු සැනසීම
දරා ගනු කෙලෙසකද....
අාදරය නොමැති තැන
අැති හිස් බව........???

        - මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි